Research and Publications

Research and Publications

 

 

විවිධ පර්යේෂණ හා ගවේෂණ ඔස්සේ සොයාගත්  කරුණු මත පදනම් වෙමින් ලෝකයේ නව නිපැයුම් උත්පාදනය වී ඇත.  මානවයාගේ එදිනෙදා ජිවිතයේ කටයුතු ඇඟිලි තුඩක ස්පර්ශයෙන් ලැබෙන විධිවිධාන ඔස්සේ සිදුවීමට තරම් නවීන තාක්ෂණය දියුණු වී ඇත. මෙතරම් ලොව දියුණු වීමටත් එය විශ්ව ගම්මානයක් බවට පරිවර්තනය වීමටත් ලොව නන් දෙසින් සිදුකොට ඇති පර්යේෂණ ප්‍රකාශන ඔස්සේ ලබාගත් තොරතුරු හා දත්ත ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

 

එනමුදු ලෝකයේ බොහෝ පර්යේෂකයන් විසින් බොහෝ පර්යේෂණ කලත් එයින් ප්‍රකාශයට පත් වන්නේ අතලොස්සකි. මෙයට ප්‍රධාන සාධකයක් වශයෙන් ඔවුන්ගේ දැනුම ප්‍රකාශිත මාධ්‍යක් බවට හැරවීමේදි සිදුවන භාෂාමය හා කුසලතාමය ඌනපුරකයක් පවතින බව සඳහන් කල හැකිය. පර්යේෂකයන් අදාල විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් වුවත් විෂය කරුණු සියුම්ව හා විචාරාත්මකව ලිඛිතව ගෙන හැර පෑමට අපොහොසත්කමක් හා මැලිකමක් දක්වයි. මෙය පර්යේෂණයක් සිදුකිරිමට වඩා අභියෝගාත්මක බව ඇතමුන්ගේ විශ්වාසයයි. එවන් අභියෝග ජය ගන්නා පර්යේෂකයන්ගේ පර්යේෂණ ඉතා පහසුවෙන් ප්‍රකාශනයට පත් වේ.

 

පර්යේෂණයක් කිරිමේ වැදගත්කම මෙන්ම පර්යේෂණ ප්‍රකාශන ප්‍රකාශනයට පත් කිරිමෙහි ඇති ප්‍රතිලාභ පිලිබඳ බොහෝ ලිපි පල වී ඇතත්, පර්යේෂණ ප්‍රකාශන ක්‍රම සහ විධි කෙරෙහි  අල්ප දැනුමක් බොහොමයක් දෙනා අතර ඇති හෙයින් මෙම ලිපිය තුලින් ඒ පිලිබඳ කෙටි විස්තරයක් සඳහන් කිරිමට බලාපොරොත්තු වෙමි.

 

ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වශයෙන් පර්යේෂණ වර්ගීකරණය කලත් පර්යේෂණයක් කිරිමේදි පර්යේෂකයන් විසින් අනුගමනය කරන දත්ත එක් රැස් කිරිමේ ක්‍රමය මතත් පර්යේෂණ වර්ග විවිධ වේ. මේ හේතුවෙන් පර්යේෂණය ප්‍රකාශනයක් ලිවීමේදි තමා තෝරා ගත් දත්ත එක් රැස් කිරිමේ ආකාරයට සුදුසු වන පරිදි එය සැකසීම සාර්ථක පර්යේෂණ ප්‍රකාශනයක් එලි දැක්විමේ රහසයි. පර්යේෂණ ප්‍රකාශන ක්ෂේත්‍රයේ එලෙස ප්‍රකාශයට පත් වන ප්‍රධාන ප්‍රකාශන වර්ග කිපයක් පිලිබඳ විස්තර පහත දැක්වේ.

 

  1. පර්යේෂණ ලිපි (Research Articles)

නවමු අදහසක් පාදක කොට ගනිමින් එයට බලපෑ හැකි සාධක ඉතා ත්‍රීව ලෙස  විචක්ෂණශීලිව විශ්ලේෂණය කිරිම මෙමගින් කරයි. මෙහිදි අදාල පර්යේෂණය තුළ සිදුකරන ලද සියලුම ක්‍රියාකාරකම් මැනවින් සඳහන් කල යුතුමය. පර්යේෂණයෙන් ලබාගත් ප්‍රතිඵල ඔස්සේ අනුමාන කිරිමත් එයින් විය හැකි දෑ සම්බන්ධව අනාවැකි, දැක්ම යනාදිය සඳහන් කල හැක.

 

  1. පුනරීක්ෂණ ලිපි (Review Articles)

යම් ප්‍රස්තුතයක් පදනම් කොටගෙන ඒ සම්බන්ධව පෙර කර ඇති පර්යේෂණ ලිපි වල අන්තර්ගතය උකහා ගනිමින් කරනු ලබන සාමාලෝචනය, පුනරීක්ෂණ ලිපිය තුලින් විද්‍යමාන වේ. මෙවන් අවස්ථා වලදි කතෘ අයිතිය රැකෙන පරිදි අදාල පුනරීක්ෂණ ලිපිය ලේඛනගත කල යුතුය. මෙවැනි ලිපි තුලින් අදාල ප්‍රස්තුතය කෙරෙහි මනා අවබෝධයක් මෙන්ම ඉතා විශාල පරිචිත දැනුමක් එක් ලිපියකින් ලබා ගත හැක.

 

  1. විචාරාත්මක ලිපි (Critical Essay)

විචාරාත්මක ලිපි රචනාමය ස්වරූපයක් ගන්නා අතර එය තෝරා ගත් පර්යේෂණ වාර්තාවක් ඇසුරු කොට ගෙන එහි මුල, මැද, අග යන තුන විචාරාත්මක විශ්ලේෂණයට භාජනය කරයි. මෙවැනි ලිපි විද්‍යාත්මක පර්යේෂණ ලෝකයේ අවම සංඛ්‍යාවකට හිමිකම් කියයි.

 

  1. විෂය අධ්‍යන ලිපි (Case Study)

මෙ⁣ම ලිපි මඟින් යම් ක්ෂෙත්‍රයක පවතින ගැටලුවක් හඳුනාගනිමින් එය ගැඹුරින් අධ්‍යන කොට එම ගැටලු බල පැවැත්මට පාදක වු සාධක විචක්ෂණශීලීව ඉදිරිපත් කරයි. මෙ⁣මගින් වත්මනෙහි පවතින අර්බුදකාරී ගැටලු හඳුනා ගැනීමටත් අනාගත ප්‍රවනතා පිලිබඳ දල අදහසක් ලබා ගැනීමටත් උපකාරී වේ.

 

ඉහත දක්වන ලද ලිපි වර්ග කිහිපය පර්යේෂණ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පුර්ණ පර්යේෂණ පත්‍රිකා හෙවත් full paper ලෙස හඳුන්වයි. මෙම පුර්ණ පර්යේෂණ පත්‍රිකා පල කල හැක්කේ පර්යේෂණ සඟරා (Journals) සහ සම්මන්ත්‍රණ වාර්තා (Conference Proceedings) වල පමණි.

 

සෑම පර්යේෂණ පත්‍රිකාවක් තුල එහි සාරාංශයක් ගැබ්ව පැවැතිය යුතුය. මෙය එම පර්යේෂණ පත්‍රිකාවේ සංක්ෂේපය හෙවත්  Abstract වශයෙන් හැඳින්වේ. එය වචන 150ත් 250ත් අතර දිවෙන, පර්යේෂණයේ සාරය කැටිකොට දක්වන කෙටි සටහනක් වශයෙන් නිර්වචනය කල හැක. මෙ⁣ම කුඩා සටහන තුල පර්යේෂණයේ දත්ත මෙන්ම අවසන් නිගමනය ඉතා කෙටියෙන් සඳහන් කල යුතුය. එය පර්යේෂණ පත්‍රිකාවේ ඉහලින්ම ප්‍රදර්ශනය කරන අතර පාඨකයාගේ අවධානය ප්‍රථමයෙන් ග්‍රහණයට ලක්වේ. මෙතුලින් පාඨකයාට එම ලිපියේ අන්තර්ගතය ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලබා දේ. එහි අන්තර්ගත වැදගත් කරුණු මත පාඨකයා එය තවදුරටත් කියවිමට සුදුසුද නැද්ද යන්න මේ කෙටි සටහන කියවා තීරණය කරයි. ඕනෑම කෙටි සටහනක් අවසානයේ එම සාරාංශයේ අඩංගු ප්‍රධාන මෙන්ම වැදගත් වචන 3ක් හෝ 5ක් සුචකය (Key Words) වශයෙන් ඉදිරිපත් කල යුතුය.

 

ඔබ පර්යේෂණයක් කල සැනින් එය පුර්ණ පර්යේෂණ පත්‍රිකාවක් දක්වා වර්ධනය කරන අතරතුර පෙර සඳහන් කල සාරාංශ හෙවත් Abstract පමණක් පර්යේෂණ සාරාංශ පොත් හෙවත් Book of Abstracts හි ප්‍රකාශයට පත් කල හැකිය.  මෙම පොත්, පර්යේෂණ සම්මන්ත්‍රණ හරහා එලි දක්වන අතර එවැනි සම්මන්ත්‍රණ හරහා ඔබටත් ඔබගේ පර්යේෂණය විෂය පථය කෙරෙහි අවබෝධයක් ඇති අයවලුන් ඉදිරියේ  ඉදිරිපත් කල හැක. මෙහි ඇති ප්‍රධානතම වාසිය නම්, එතුලින් ඔබගේ පර්යේෂණය කෙරෙහි ඔවුන් හරහා ලබාගත් අදහස් හා යෝජනා පරිදි ඔබගේ පුර්ණ පර්යේෂණ පත්‍රිකාව සකසා ගැනීමට අවකාශයක් ලැබීමයි. අවසානයේ සාරවත් හරවත් පර්යේෂණ ලිපියක් තුලින් තම සොයාගැනීම් ලොවට ඉදිරිපත් කිරිමට කදිම අවස්ථාවක් මෙමගින් උදා කරගත හැකිය.

 

සටහන: රුක්ෂීලා බංගමුවගේ

Comments are closed.